පසුබිම

සිංහල සzයන්නක අවැසිතාව ගැන දැනට දශක ගණනකට පෙර සිට ක්‍රමයෙන් ගොඩනැඟෙන සංවාදයක් තිබේ. එකල එය වසර කිහිපයකට වරක් මතුවී යටගිය සංවාදයක් වුවත් වත්මනෙහි සමාජ මාධ්‍ය ඇසුරේ ඊට අදාල කරුණක් සංවාදයට නොගැනී සතියක් ඉක්ම යන්නේ කලාතුරකිනි. එහෙයින් තත් සංවාදාභිමුඛ සැමගේ සංතුෂ්ටියත් සිංහල බසෙහි සාරාර්‍ථ සාධනයත් සඳහා සිංහල සz අකුරට සංකේතයක් සම්මත කරගැනීම නොපමාව කළයුතුව තිබේ.

අකුරු නිර්‍මාණය පිළිබඳව දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවන විධිමත්ම සංවිධාන අවකාශය ඇත්තේ අකුරු එකමුතුව (Akuru Collective) ටයි. එහෙයින් මේ කටයුත්ත සඳහා අවශ්‍යවන මූලික පහසුකම් (Basic Infrastructure) සැපයීම එහි වගකීමකි.

එම වගකීම ඉටුකිරීමක් වශයෙන් අප සහෝදර Mooniak සමාගම විසින් මෙම පත්‍රිකාව ප්‍රකාශයට පත්කරනු ලබන අතර Institute of Typography විසින් ඊට අදාල පර්‍යේෂණ සහ විශ්ලේෂණ කටයුතු සිදුකරනු ඇත.

ක්‍රමවේදය

මේ සඳහා දැනටමත් යෝජනා වී ඇති අදහස් සහ ඉදිරියට යෝජනාවන නවමු අදහස් සියල්ල එකිනෙකට අභිමුඛ කොට තබා ඒවා අතුරින් ප්‍රශස්තම අදහස තෝරාගත යුතුව තිබේ. ඒ ක්‍රියාවලිය සඳහා වන සියල්ලන්ටම පිළිගත හැකි මාර්‍ගෝපදේශයක් සැකසීම මෙම ලේඛණයෙහි අරමුණයි.

ඒ සඳහා, දැනට ඇති සියලු අදහස් මේ ලේඛණයෙහි 5 වන කොටස යටතේ ඒකරාශී කරනු ලැබේ. ඉන්පසු, ඒ එකිනෙක කෙරෙහි දැනටමත් ඇති විශ්ලේෂණ සහ විවේචන සළකා බලමින් එම විශ්ලේෂණ සහ විවේචන විසින් පදනම් කරගන්නා ලද අදහස් න්‍යාය ලෙසින් සූත්‍රගත කරගන්නට උත්සාහ දරනු ලැබේ. එයින් පසු, එම න්‍යායන් මත පදනම්ව එක් එක් අදහසේ විභවතාව සහ යෝග්‍යතාව ශ්‍රේණිගත කරමින් වඩාත් සුදුසු අදහස් ඉස්මතු කරනු ඇත. එසේම අනෙක් අදහස් සංවර්‍ධනය කර නැවත වටයකින් ඉදිරිපත් කරන්නට දිරිමත් කෙරෙනු ඇත. අවසාන වශයෙන් වඩාත් වැඩි යෝග්‍යතාවයක් සහතික කරන නිර්‍මාණය සz අකුර සඳහා සුදුසු බවට මතුකර පෙන්වා ඒ ගැන පොදු සමාජය දැනුවත් කිරීම සිදුවනු ඇත. මෙම ක්‍රියාවලිය එහි ඕනෑම අදියරකදී පූර්‍ණ විනිවිදභාවයක් යටතේ සිදුකෙරෙනු ඇති අතර සාධාරණ විවේචනයන් සඳහා සෑමවිටම විවෘත වේ.

සීමා නිර්‍ණායක

පහසුකම් සැපයීමට, සළකා බැලියයුතු නිර්‍ණායක සමුදාය නිර්‍ණය කිරීමට, සහ කටයුත්තට අදාල විවිධ පාර්‍ශව අතර සහයෝගීත්වය වර්‍ධනය කිරීමේ මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියාකිරීමට ආදී වශයෙන් පමණක් සීමාසහිත අවම මැදිහත්වීමක් Mooniak සහ Akuru Collective විසින් සිදුකෙරෙනු ඇත. තවද, භාෂාව පොදු සමාජයේ හිමිකමට යටත්වූවක් වන හෙයින් අගතිගාමීව කල්ලිවාදීව කටයුතුකිරීම දිරිමත් කරනු නොලබන බවද සටහන් කළ යුතුය.

උගත් ‘ෆ’ තෝරාගත් නිර්‍ණායක

ෆ අකුරට දැනටත් ඇති විවේචන සළකා බලමින් නව සz අකුර සකස්කරගැනීමේ කටයුත්තට එයින් ඉගෙනගතහැකි පාඩම් මොනවාද යන්න විමසා බැලිය යුතුය.

ලෝකයේ වෙනත් තෝරාගැනීමේ නිර්‍ණායක

ලොව වෙනත් භාෂාවන්ට නව අක්ෂර නිර්‍මාණය කරගන්නට සිදුවුණු අවස්ථාවන් මොනවාද යන්නත් ඒ ඒ අවස්ථාවන්හිදී ඊට අදාලව අනුගමනය කරන ලද ක්‍රියා පටිපාටීන් මොනවාද යන්නත් විමසා එයින් උගත හැකි දේ විමසා බැලිය යුතුය. මෙහිදී ඉන්දියානු කලාපයේ භාෂාවන්ට ප්‍රමුඛත්වය ලබාදී විශ්ලේෂණ කටයුතු සිදුකළ යුතුද නැද්ද යන්න සංවාදයට බඳුන්කරන්නට සිදුවනු ඇත.

තෝරාගැනීමේ නිර්‍ණායක

මේ කටයුත්ත පිළිබඳ උනන්දු සැමගේම නොහොත් බහුතරයකගේ එකඟත්වය සහිත නිර්‍ණායක පද්ධතියක් සකස්කරගැනීමෙන් තොරව සාධාරණ විශ්ලේෂණයක් කිරීමටත් අගති රහිත විනිශ්චයක් ලබාදීමටත් අපහසුවන බව අමුතුවෙන් පැහැදිලිකළ යුතු නැත.

දැනට සිංහල අකුරුවල ඇති වක්‍ර හැඩතල නොඉක්මවන ඒ හා සංගත හැඩයක් විය යුතුය. තවද, අතින් ලිවීමේදී පහසුවෙන් ලිවිය හැකි හැඩයක් විය යුතුය. යනාදී වශයෙන් දැනට ඇති

මෙම නිර්‍ණායක සමුදාය සකස්කරගැනීමේ අභිමතාර්‍ථය වශයෙන්: ෆ අකුර පිළිබඳව දැන් ඇති විවේචන මෙන් විවේචන ඇති නොවන සේත් අනාගතයේ යම් දිනෙක තවත් නවමු අකුරු සිංහල බසට එක්කර ගැනීමට අවැසි වුවහොත් ඒ සඳහා පූර්‍වාදර්‍ශයක් සැපයිය හැකිවන සේත් මෙම නිර්‍ණායක සමුදාය සකස්කරගත යුතුය. එහෙත්, එවැනි නිර්‍ණායක සමුදායක් සකස්කරගැනීම පහසු කටයුත්තක් නොවනු ඇත. එහෙයින් දැනට ඇති සාධක මත පෙළගස්වා ඇති පහත නිර්‍ණායක සමුදාය විමසා බලන්නටත් වැඩිදුර සාකච්ඡාවට බඳුන්කරන්නටත් සංවර්‍ධනය කරන්නටත් ඒ ගැන උනන්දුව ඇති ඔබ සැමට ඇරයුම් කරනු ලැබේ.

  1. ලේඛනක්‍රමයට අනුගත වීම

    1. රූපික හැඩයේ සංගත බව

      දැනටත් සිංහල බසේ ලියැවෙන අකුරුවල හැඩ සමුදාය හා එකඟ එයින් පිටස්තර නොවූ හැඩයක් නම් වඩාත් හොඳය. එවිට භාෂකයාට ඊට හැඩගැසීම පහසුවේ. ෆ අකුරට එල්ලවන ප්‍රධානතම විවේචනයද දැනට ඇති අකුරු සමඟ සංගත නොවීමයි. එවැනි විවේචනයකින් තොරවූ හැඩයක් සකසාගැනීම වැදගත්ය. (උපග්‍රන්ථය I බලන්න)

    2. ලිවීමේ පහසුව

      තෝරාගන්නා හැඩතලය ලියන්නට පහසුවිය යුතුය. එහිදී දැනට අති බහුල අකුරු ගණනක් පටන්ගන්නා වම්පස ඉහළ සිට දකුණටත් පහලටත් ගලාගෙන එන්නේ නම් පහසුය.

    3. පිල්ලම් යෙදීම

      පිලි යෙදීම පිළිබඳ නව සම්මතයන් සකස්කරගැනීමකින් තොරව දැනට ඇති සම්මතයන්ට අනුවම භාවිත කළ හැකි ආකාරයේ හැඩයක් විය යුතුය.

  2. ටෛපොග්‍රැෆිමය යෙදවුම් ස්වභාවය

    1. ස අකුර හා සමරූපීබව (fallback)

    2. වෙන්කර හඳුනාගැනීමේ හැකියාව

  3. යුනිකෝඩ් කේතන ක්‍රමය

    සz අකුරට අදාල නව යුනිකෝඩ් පිහිටුමක් (encoded code point) සම්මත කළ යුතුද? නැතහොත් OpenType පිරිවිතරයන් භාවිතයෙන් ඊට අදාල පහසුකම් සැළසිය යුතුද යන්න විශ්ලේෂණය කළ යුතුය.

  4. සුලබතාවය, භාවිතය සහ පිළිගැනීම

  5. සාමූහික එකඟතාවය සංසන්දනය

    සාමූහික එකඟතාවයක් ඇතිවීමට පෙර බොහෝ සංවාදයන් ඇතිවනු ඇත. තර්‍ක ප්‍රතිතර්‍ක සහ නව මානයන්ගෙන් දැකීමටත් නොවූ විරූ අයුරේ විශ්ලේෂණය කිරීම්වලටත් මේ යෝජනාවන් බඳුන්වනු ඇත. කිසිඳු බාධාවකින් තොරව ඒ සියලු ආකාරයේ මැදිහත්වීම් සිදුවීමට ඉඩ සැළසිය යුතුය. එමෙන්ම එම සියලු මැදිහත්වීම් මැදහත්ව නිරීක්ෂණයටද බඳුන්කළ යුතුය. එම නිරීක්ෂණ ඇසුරින් අවසන් නිර්‍මාණය වඩ වඩාත් සංවර්‍ධනය කරගැනීමට උත්සාහ කළ යුතුය. මෙම ක්‍රියාවලිය පහසු කරවීම සඳහා අකුරු එකමුතුව සහ මූනියැක් කණ්ඩායම විසින් ප්‍රශස්ත සංවාද අවකාශ ඇතිකිරීමත් සහ විශ්ලේෂණීය දායකත්වයන් සැපයීමත් සිදුකරනු ඇත.

  6. යෝජනාකරුගේ අධිකාරීත්වය

    වඩාත් සාධනීය යෝජනාවන් මතුවීමටත් සංවාදයට බඳුන්වීමටත් ඉඩහසර සැළසීමක් වශයෙන් යෝජනා ඉදිරිපත් කරන අයගේ සමාජ බලය, ප්‍රසිද්ධිය, අධ්‍යාපන සුදුසුකම්, විෂය පරිචය ආදී සාධක නොසළකා හැරීමට සිදුවනු ඇත. සංවාදය ඇරඹීමේදී සියලු යෝජනාවන් එක හා සමාන මට්ටමේ ලා සැළකිය යුතුය. ඉන් ඉක්බිති, සළකා බලනු ලබන නිර්‍ණායක වලට අනුව වඩ වඩාත් සාධනීය ලක්ෂණ පෙන්වන යෝජනා ඒ ඒ නිර්‍ණායකයේ අදාලත්වය අනුව අනුපිළිවෙලින් පෙළගස්වනු ඇත. නිර්‍ණායක වැඩි ගණනක් විශිෂ්ට ලෙස තෘප්ත කරන යෝජනාව ප්‍රමුඛත්වයට එළඹෙනු ඇත.

  7. රාජ්‍යය මැදිහත්වීම

    භාෂාව සමාජ නිර්‍මිතයකි. ජාති ආගම් ආදී භේදයන්ගෙන් තොරව යම් බසක් භාවිත කරන සියලුම දෙනා එම භාෂාවේ ප්‍රගමනයෙහි ජීවමාන සාක්ෂිකාරයෝ වෙති. ඊට රාජ්‍ය ආයතනයන්හි මැදිහත්වීමක් ඇතිවීම එම ජීවමාන බව කෙරෙහි බාධකයක් බව අතීත සිදුවීම් බොහෝමයකින් පැහැදිලි වන හෙයින් මෙම කටයුත්ත කෙරේ කිසිඳු රාජ්‍ය මැදිහත්වීමක් ඇතිකර ගැනෙන්නේ නැත.

යෝජනාවන්

වඩාත් සුදුසු සංකේතය තෝරාගැනීම සඳහා දැනට කර ඇති සියලුම යෝජනාවන් එක් තැනකට ගෙන විශ්ලේෂණය කළ යුතුය. වඩාත් හොඳ සංකේතය තෝරාගැනීමට ඒවා යෝජනාවූ කාලානුක්‍රමික අනුපිළිවෙල හෝ යෝජකයාගේ අධිකාරීත්වය සාධකයක් ලෙස බලනොපාන බව පැහැදිලි කරුණකි. එහෙයින් යෝජනා සියල්ල යෝජකයාගේ නමෙහි සිංහල අකාරාදී අනුපිළිවෙල අනුව පෙළගස්වා තිබේ. (වැඩිදුරටත්, මෙම යෝජනාවන් සියල්ල පිළිබඳ සමස්ත අදහස සළකා බලනවිට ඒවා සියල්ලම පාහේ සz අකුරක් නිර්‍මාණය කරගැනීම පිළිබඳ නවමු ඇසකින් බලන්නට ගත් එකිනෙකින් ස්වායත්ත උත්සාහයන් බව පෙනේ. දැනටමත් කරඇති යෝජනාවක් තවදුරටත් වර්‍ධනය කරමින් වඩාත් සුදුසු සංකේතයක් සකස්කරගැනීම පිළිබඳ යොමුව ඇති අවධානය අල්ප බව පෙනේ. එහෙයින් මේ පිළිවෙල සඳහා කාලානුක්‍රමණය සාධකයක් ලෙස යොදාගැනීමේ අදාලත්වය නොසලකා හැරීමෙන් පාඨකයාගේ අවබෝධය කෙරේ බලපෑමක් සිදුවීමට ඉඩක් නැත.)

  1. ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර යෝජනාව
  2. සුචරිත ගම්ලත් යෝජනාව
  3. විමල් ජී. බලගල්ලේ යෝජනා තුන
  4. ජපාන ජාතික තදාෂි නොගුචි යෝජනා දෙක
  5. ඩේවිඩ් උඩුවිල ආරච්චි යෝජනාව
  6. උපුල් සන්නස්ගල යෝජනාව
  7. අජිත් තිලකසේන යෝජනාව
  8. ඩී එන් ඩී වැලිකල යෝජනාව
  9. ඩෙන්සිල් රාජිත යෝජනාව
  10. පුෂ්පානන්ද ඒකනායක යෝජනාව
  11. ඩබ්. ඒ. ඩී. ටී. දයාරත්න යෝජනාව
  12. රාජ්‍ය භාෂා දෙපාර්‍තමේන්තුවේ සුභාෂා සඟරාවේ යෝජනාව
  13. සංඛමිත්ත දහම් සොඳුරුවිල යෝජනාව
  14. අසිරු වේදිත කරුණාරත්න යෝජනා හතර
  15. ගනුෂ්ක රන්දුල යෝජනාව

යෝජනාවන් සංසන්දනය

  • තාක්ෂණික යෙදවුම්
  • font නිෂ්පාදනය
  • යුනිකෝඩ් යෙදවුම
  • යතුරු පුවරුව

References

  • සිංහල යුනිකෝඩ් හෝඩිය: වර්ණ සහ වර්ණන | Colombo Type #014 : Dr. T. Nandasara on suitable Unicode codepoint for proposed සz

  • https://web.facebook.com/groups/SinhalaBasha/permalink/1872674329565622/ : ෆ අකුර මැන්දිස් ගුණසේකර පඬිතුමා විසින් 1891 ” Comprehensive Grammar of the in Sinhalese language” පොතින් හඳුන්වාදෙන්නට පෙරත් පැවති බව:

    නමුත් මේ පිළිබඳව අධ්‍යයනයක යෙදුණු භාෂා පර්යේෂකයකු වන බුද්ධික කෝනාර මහතා පෙන්වා දෙන්නේ 1890 වර්ෂයේදී ප‍්‍රකාශයට පත්කළ එම්. ඒ. ධර්මරත්න මහතාගේ ”වෛද්‍යාභිදානය” නම් ග‍්‍රන්ථය මගින් මේ අක්ෂරය ප‍්‍රථම වරට හඳුන්වා දුන් බවයි.

    “වෛද්‍යාභිදානය” ග‍්‍රන්ථයෙහි බටහිර විද්‍යාවෙහි සඳහන් වචන දැක්වීම සඳහා ”ෆ” අක්ෂරය ඉතා සාර්ථකව භාවිත කර තිබේ. මෙම ග‍්‍රන්ථයෙහි ‘ෆ’ මේ අකුරේ ශබ්දය ඉංග‍්‍රීසි F අකුරේ ශබ්දය වන්නේ ය. තොල් දෙක අතරෙන් හුලං පිටකරමින් නගන ශබ්දයයි” යනුවෙන් ”ෆ” අක්ෂරය පිළිබඳ හැඳින්වීමක් පවා සිදුකර ඇති අතර ඉන් පැහැදිලි වන්නේ මීට පෙර ”ෆ” අක්ෂරය පිළිබඳ නොදන්නා නිසා එම ග‍්‍රන්ථය භාවිතා කරන පාඨකයා මෙම ”ෆ” අක්ෂරය කියවීමේදී ඇතිවන ගැටලූ මග හැරීමට මෙම හැඳින්වීම එක් කරන්නට ඇති බවයි. ෆයිට්, සල්ෆෙට්, ෆාර්සි, කෝෆ්, ෆිව්රන් කිව්ලස් වැනි වදන් රැසක් එම ග‍්‍රන්ථයෙහි හමුවේ.